Slider

වාස් සහ පුතා ට තවත් දඬුවමක්

මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව වාස් ගුණවර්ධන මහතාට රුපියල් 20,000ක දඩයක් ද විනිසුරුවරයා නියම කළා.

ඊටත් අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් 4කට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16ක් බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම් වසර 04 කින් ගෙවා අවසන් විය යුතු බවත් නියෝග කර තිබෙනවා.

එම විත්තිකරුවන්ට තිදෙනාට රුපියල් 82,000ක් බැගින් දඩ මුදල් ද නියම කෙරුණා.

ඒ, 2009  වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයෙකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරුවන් කරමිනි.

එසේම මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 08ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම වසර 04 කින් ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කර තිබෙනවා.

ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක්ද නියම කෙරුණා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන් බහුතරයක් සාම නිලධාරීන් බවත් මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ වගකීම බවත් සඳහන් කර සිටියා.

එවැනි වගකීමක් දරා සිටින පිරිසක් මේ ආකාරයෙන් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර කිරීම අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස් නිලධාරීන් ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව හැඟවෙන ආකාරයේ පණිවිඩයක් ලබාදිය හැකි තීන්දුවක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අතුරින් බහුතරය සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින පොලිස් නිලධාරීන් බවට අධිකරණය හමුවේ කරුණු පැහැදිලි වී ඇති බව සඳහන් කළා.

එසේ තිබියදී ඔවුන් විසින් සිදු කර තිබෙන වරදවල්වල ස්වභාවය බරපතළ බවත් මෙම සිද්ධියට මුහුණ දුන් පැමිණිලිකාර තරුණයා දින 20ක් පමණ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2009 වසරේ අගෝස්තු මස 4 වනදා කොළඹ නැදිමාල ප්‍රදේශයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා, සුළු තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo