අගෝස්තු 15 රාජගිරියට විශේෂ ආරක්ෂාවක්

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනෙන අගෝස්තු 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

එබැවින්, එදිනට එම ප්‍රදේශයට රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා.

"මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ මස 15 වනදා පෙ.ව 9  - පෙ.ව 11 දක්වා කාලය තුළ සිදුකෙරෙනවා. එදිනම පෙ.ව 9 - පෙ.ව 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට කාලය වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද අපේක්ෂකයින් සඳහා ස්වාධීනව ඉදිරිපත් වන හා වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා ලකුණු වෙන්කිරීම සිදුවන්නේ විරෝධතා කාලසීමාව අවසානයෙන් පසුවයි. මෙම කාලය තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවත ආශ්‍රිත කලාපයට විශේෂිත ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයින්ට සහ අවසරලත් වාහනවලට පමණයි. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා15 වෙනිදා දිනයේ දී සරණ මාවත ආශ්‍රිත රජයේ කාර්යාල හා රෝහල් එදින වසා තැබෙන බැවින් සාමාන්‍ය කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙසය. නාමයෝජනා භාරදීමෙන් පසුව පෙළපාලි පැවැත්විය නොහැකියි. නාමයෝජනා භාරගෙන අවසන් වූ වහාම අපි ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා."

මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ නුවරඑළියේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව කියා සිටියේ, මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 320කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.


අලි සබ්රිට තවත් ඇමති ධුරයක්

 

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

නාමල් දිනවන පොහොට්ටුවේ මංගල රැලිය ලබන 21දා


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පොහොට්ටු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසුවා.

මේ වන විට එම නායකයින්ද නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ මේ මස 21 දින පැවැත්වෙන එම පක්ෂයේ මංගල රැලිය පවත්වනු ලබන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ (11) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ජනාධිපතිවරණය සඳහා අනුර කුමාර නාමයෝජනා අත්සන් කරයි

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.


මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු කිහිප දෙනෙක්ද සහභාගි වුණා.


මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට

 

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 17ක් වාර්තා වූ බවයි.

තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (11) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි මැතිවරණ පැමිණිලි 337ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 



පැරිස් ඔලිම්පික් උලෙළේ පළමු ස්ථානය අමෙරිකාව ට

 

දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් වුණා.

රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් වුණා.

ඒ එතෙක් පදක්කම් සටහනේ පෙරමුණ ගෙනසිටි චීනය දෙවැනි ස්ථානය ඇද දමමින්.

අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනා ගත්තා.

දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගනු ලැබුවා.

තුන්වැනි ස්ථානය ජපානය සතු වුණා.

විචිත්‍රවත් වු සමාප්ති උලෙළට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රරාන්ස් ක්‍රීඩාගාරයට පැමිණියා.

එහිදී ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශන ට පැවරී තිබුණා.

වැයුම් ගැයුම්වලින් අලංකාර වු පැරිස් ඔලිම්පික් උලෙළේ සමාප්තිය සියැසින් දැක බලා ගැනීම සඳහා ප්‍රෙක්ෂකයින් 70,000කට ඉඩකඩ වෙන් කර තිබීමත් කැපී පෙනෙන කරුණක් වුණා.

අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ කළා.

34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය අමෙරිකාවට භාර දෙනු ලැබුවා.


විස්සයි 20 පළමු තරගයේ ජය ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වුණා.

පසුව ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 04ක් අවසානයේ දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා.

මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් ලබා ගැනීමට ද සමත් වුණා.


දෙරට අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉදිරි දින කිහිපයේ ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දන්වා තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.


මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කරන දිනය මෙන්න


 ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.


අද (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.


පුනරුදයට රටම එකට යන මැයෙන් ජාතික ජනබලවේගයේ ජන රැලියක් අද පස්වරුවේ මෙලෙස ඇඹිලිපිටියේදී පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.



සුමන්තිරන් සහ නාමල් සාකච්ඡා කරයි

 දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පවත්වා තිබෙනවා.

ඒ, එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීය.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී තිබෙනවා.

වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවා.

මැතිවරණ ලකුණු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ  මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන ඇතිවයි.









වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි.

කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කරනවා.

ඔක්තෝබරයේ පාස්පෝට් වෙනස් වෙයි

 

ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බවයි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ,

"අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා. මම කිව්වා එහෙම බෑ ටෙන්ඩර් කැඳවන්න කියලා. 

ඒ අනුව සමාගමකට ටෙන්ඩරය ලැබුණා. මාස දෙකක් පමණ ප්‍රමාද වුණා ලංකාවේ තියෙන නීතිය අනුව, ඒ වැඩ කරන්න.  ඒ ප්‍රමාදය තමයි ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි පාස්පෝට් නිකුත් කරන එක සීමා කරන්න වුණේ. 

අත්‍යවශ්‍ය අයට විතරක් ඔක්තෝබර් වෙනකල් දෙන්න. 

අපි දිනකට 900ක් නිකුත් කරනවා. නමුත් 1,000ක් වෙනකල් හදිසියේ එන ඒවට ඉඩ තියලා තියෙනවා.

මෙතෙක් නිකුත් කළ ගුවන්ගමන් බලපත්‍රවලින් 23%යි භාවිත කරලා තියෙන්නේ. අනෙක් පාස්පෝට් ගත්තට පාවිච්චි කරලා නැහැ. 

මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝට් එක ගන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉන්න අලුත්ම පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසයේ ලැබෙනවා. 

අපි ටෙන්ඩරය කැඳවූවේ E - PASSPORT එකට. පරණ පොතට ඩොලර් 5.89ක් ගෙව්වා. අලුත් ගුවන්ගමන් බලපත්‍රය අපිට වෙන්නේ ඩොලර් 5.5යි". 

ප්‍රශ්නය - ඇමතිතුමා පොලිස්පතිතුමත් නැති නිසා යුක්තිය මෙහෙයුම නතරවෙලා කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවා. පසුගිය කාලයෙත් අපි දැක්කා තැන තැන වෙඩි තැබීම් සිදුවෙනවා. යුක්තිය මෙහෙයුම තාම තියෙනවද? 

"යුක්තිය මෙහෙයුම අඩපණවෙලා තියෙනවා. අපි පිළිගන්න ඕනේ ඒක අඩපණ වෙලා තියෙනවා. පොලිස්පතිතුමා තමා ඒක ඍජුවම සම්බන්ධවෙලා සූම් මීටින් දාලා කරේ. අනිවාර්යෙන්ම ඒක අඩපණ වෙලා තියෙනවා". 

පොලිස්පති ගැන තීරණය පිළි නොගතහොත් රට බංග්ලාදේශයක් වීමේ අවදානමක්!

 

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළි නොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත් වුවහොත් බංගලාදේශයේ පසුබිමට වඩා අන්ත තත්ත්වයකට රට ඉදිරියේදී තල්ලු වී යා හැකි බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පවසනවා.

ඒ අනුව රට තුළ දෙවැනි අරගලයක් සිදු වීම වැළකිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේ පසුගිය 07 වැනිදා කොළඹ ලයිට් හවුස් ගැලිහි පැවති ‘‘ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024‘‘ මාධ්‍ය හමුව අමතමින්.

ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024 මූලික සංකල්පය වන්නේ ක්‍රම වෙනසක් සඳහා අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන කතිකාවක් සදහා පහසුකම් සැපයීමවනවා.

තීරණාත්මක නීති අංශ ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ඉලක්ක කිරීම, මහජනයා අතර යුක්තිය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ප්‍රවර්ධනය කිරීම, නීති අංශයේ සාධාරණ සහ ප්‍රතිස්ථාපන භාවිතයන් සම්බන්ධ විශේෂිත ප්‍රතිසංස්කරණ ඉස්මතු කිරීම, යුක්තිය, සාධාරණත්වය සහ පාලනය පිළිබඳ නීතිමය ප්‍රතිසංස්කරණ හදුනාගෙන ඒවා වෙනුවෙන් පෙනී සිටීම මෙහි අරමුණ වනවා.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජනය ශක්තිමත් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය  ශක්තිමත් කිරීම, අල්ලස් හා දූෂණ පිළිබඳ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති  ශකිත්මත් කිරීම අාදී කරුණු ඇතුළත් යෝජනා මාලාවක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම - අනාගතයේ බලයට පත් වන ඕනෑම රජයක වගකීම ලෙස සලකා සියලු දේශපාලන පක්ෂවලට එම යෝජනා මාලාව පිළිගැන්වීමට කටයුතු කරන බව මෙහිදී නීතිඥ උපුල් ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළා.

 මාධ්‍ය හමුව අමතමින්  ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  දුනේෂ් ගුණතිලක හා එකී සරසවියේම  දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යය ගාමිණී රත්‍නශ්‍රී ද අදහස් දැක්වුවා.

දෙමළ පොදු අපේක්ෂකයාට දෙමළ සන්ධානයේ විරෝධය

 

ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පවසනවා.

කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ශව කිහිපයක් එක්ව ඊයේ (08) දිනයේ පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙනවා.

ඊයේ දිනයේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් එක්ව දෙමළ පොදු අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටිනවා.

"මේ පොදු අපේක්ෂකයා අවශ්‍ය නැති වැඩක් දෙමළ ජනතාවට. දෙමළ ජනතාවට කිසිම උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඡන්ද වෙන අයෙකුට යන එක වළක්වන්න වෙනත් අපේක්ෂකයෙකුගේ උවමනාවට ඉදිරිපත් වුණා කියලත් මතයක් තියෙනවා."


මත්පැන් බෝතලයේ ආරක්ෂිත ස්ටිකරයේ වෙනසක්

මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කර ඇත්තේ, නව ක්‍රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට සමාන තවත් වෙබ් අඩවියක්

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා සිටිනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා.

අදාළ කාලය පසුගිය 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද, තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.


එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසුවා.

අද ඇතැම් ප්‍රදේශවලට තද වැසි



 කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් අද (10) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.


එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


එමෙන්ම බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං

මනූෂ සහ හරීන් අමාත්‍ය ධුරවලින් ඉවත්වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී තිබෙනවා.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළා.

අද (09) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති අතර, අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවයි..

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුර සඳහා පත් කිරීම් සිදුකළ යුතු වනවා.

2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීම හේතුවෙන් ඔහුගේ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කිරීම සමගි ජන බලවේගය පක්ෂය විසින් සිදුකළ යුතු වනවා.

මනූෂ නානායක්කාර මහතා 2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවනවා.






 

කෙහෙළියට අද ලැබුණු තීන්දුව

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් තබා තිබෙනවා.

එම නියෝගය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

නමුත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම තීන්දුව ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 4 වැනි දින දක්වා කල්තබන බව සඳහන් කර තිබෙනවා.

තවද හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව තීන්දුව ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


හරීන් වෙනුවට හරීන්ගේ පුටුවට හිරුණිකා

 අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයත් සමඟ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසිවී යනු ඇති.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සමගි ජනබලවේගය පක්ෂයට මීළඟට සිටින සුදුසුම පුද්ගලයා බැවින් එම තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

සරත් ෆොන්සේකා සමගියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි පැවසෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වනදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණා.

මනූෂ වෙනුවට පාර්ලිමේන්තුවට එන කෙනා මෙන්න

 

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව පුරප්පාඩුවන සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා

පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂය සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.

අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ අදාළ තීරණය නීති විරෝධී බවත්, එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

විජිත් මලල්ගොඩ, අචල වේගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවා.

මනූෂ සහ හරීන් පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය

 

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුනි.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබේ. 


ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය අරඹයි

 ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි.

දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා. 

ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.


ප්‍රදේශ රැසකට තද වැසි

 

අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 4ක් තවදුරටත් රිමාන්ඩ් - 2කට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගැනුනා.

සැකකරුවන් අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝග නිකුත් කර තිබෙනවා.

නායකත්වය භාරගන්න යූනුස් පැමිණෙයි

 

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ තිබෙනවා.

එරට ට පැමිණීමෙන් පසු යූනුස් පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි.

ප්‍රංශයේ සිට පැමිණි 84 හැවිරිදි යූනුස්, බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දීමට නියමිතයි. 

බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගියා.

ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව සඳහන්.

වාස් සහ පුතා ට තවත් දඬුවමක්

මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව වාස් ගුණවර්ධන මහතාට රුපියල් 20,000ක දඩයක් ද විනිසුරුවරයා නියම කළා.

ඊටත් අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් 4කට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16ක් බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම් වසර 04 කින් ගෙවා අවසන් විය යුතු බවත් නියෝග කර තිබෙනවා.

එම විත්තිකරුවන්ට තිදෙනාට රුපියල් 82,000ක් බැගින් දඩ මුදල් ද නියම කෙරුණා.

ඒ, 2009  වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයෙකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරුවන් කරමිනි.

එසේම මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 08ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම වසර 04 කින් ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කර තිබෙනවා.

ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක්ද නියම කෙරුණා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන් බහුතරයක් සාම නිලධාරීන් බවත් මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ වගකීම බවත් සඳහන් කර සිටියා.

එවැනි වගකීමක් දරා සිටින පිරිසක් මේ ආකාරයෙන් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර කිරීම අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස් නිලධාරීන් ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව හැඟවෙන ආකාරයේ පණිවිඩයක් ලබාදිය හැකි තීන්දුවක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අතුරින් බහුතරය සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින පොලිස් නිලධාරීන් බවට අධිකරණය හමුවේ කරුණු පැහැදිලි වී ඇති බව සඳහන් කළා.

එසේ තිබියදී ඔවුන් විසින් සිදු කර තිබෙන වරදවල්වල ස්වභාවය බරපතළ බවත් මෙම සිද්ධියට මුහුණ දුන් පැමිණිලිකාර තරුණයා දින 20ක් පමණ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2009 වසරේ අගෝස්තු මස 4 වනදා කොළඹ නැදිමාල ප්‍රදේශයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා, සුළු තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

යොවුන් දඟපන්දු ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ලකර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකර තිබෙනවා.

ඔහුට ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පණිවුඩ මකා දමා ඇති බව සඳහන් වනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ මෙම චෝදනා සඳහා උත්තර සැපයීමට 2024 අගෝස්තු 6 වනදා සිට දින 14ක් ඔහුට ලබාදී ඇති බවයි.

ගාසා අරමුදලට ලැබුණු මුදල් ප්‍රමාණයක් භාර දෙයි

ගාසා හී ළමා අරමුදලට ලැබුණු තවත් ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂ අනූදහසක් පලස්තීන රජය වෙත භාර දී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදීයී. 

මීට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබුවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම මෙහි මූලික අරමුණ වුණා.


දෙමළ පොදු අපේක්ෂකයා පී. ආරියනේන්ද්‍රන්

 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන බව නිවේදනය කරනවා.

යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා දෙමළ පාර්ශ්වයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය සහ දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණා.

සී.වී. විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්, ඊපීආර්එල්එෆ්, දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, දෙමළ ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය, සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව දෙමළ පොදු අපේක්ෂකයාට සහාය පළ කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටිනවා.


ක්‍රිකට් දුෂණ සම්බන්ධයෙන් තිදෙනෙකුට දඬුවම්

 

අබුඩාබි T10 ලීග් තරගාවලියේ දී දුෂණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක් ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඒ 2021 තරගාවලියේ දී සිදුකළ බවට සැක කෙරෙන දූෂණ හේතුවෙනි. 

එහිදී වැරදිකරුවන් වී ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ අෂාර් සයිඩි, සහ එම කණ්ඩායමේ හිමිකරුවන් වූ පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි යන තිදෙනායි.

 ඔවුන් සිය වැරදි පිළිගත් බව ICC නිවේදනයෙහි දැක්වෙනවා.

ඒ අනුව සයිඩි ට වසර 5ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර අනෙක් දෙදෙනාට වසර දෙක බැගින් ක්‍රිකට් තහනම් කර තිබුණා.

නමු එම දඬුවම් වලට අදාළ අවසන් වසරේ දඬුවම අත්හිටුවා තිබෙනවා.

දඬුවම 2023 සැප්තැම්බර් 19 වනදා සිට ක්‍රියාත්මක බව ICCය නිවේදනය කළේය. ඒ අනුව පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි ට 2024 සැප්තැම්බර් 19 වනදා සිටද සයිඩි ට 2027 සැප්තැම්බර් 19 වනදා සිටද ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ විය හැකියි.




පවිත්‍රා රනිල්ගේ සහායට ඉදිරිපත්වෙයි

 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.






සමගි ජන සන්ධානය අද එළිදකී

ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම උත්සවය පැවැත්වෙනවා. 

වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ

 

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබුවා.


එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් අතර මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකුද ඇතුළත්ව සිටිනවා.

වැලිකඩ සිද්ධියෙන් ළමාහේවා නිදොස් කොට නිදහස්

 

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.

එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන්නා.

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

 

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බව ද එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළා.

මැලිබන් සමූහ ව්‍යපාරයේ සභාපති ඒ. පී. රත්නපාල අභාවප්‍රාප්ත වෙයි

 

මෙරට කීර්තිමත් ව්‍යාපාරික ආයතනයක් වන මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ. පී. රත්නපාල සමරවීර මහතා  ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා.


ඒ මහතා මියයන විට 83වන වියේ පසුවී ඇති බව සඳහන් වනවා.


ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වුණු සුමනා නෙල්ලම්පිටිය ජීවිතක්ෂයට

 


ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වුණු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ මහත්මිය මියයන විට 80වන වියේ පසුවූ බවයි සඳහන් වන්නේ.


අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

තවද නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල  ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.

වසර 27කට පසු වාර්තා අලුත් කළ ශ්‍රී ලංකාව

 


සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.


ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරගය දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.


ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.



© all rights reserved
made with by templateszoo