Slider

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්



 තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව පවසනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා.

මේ අතර සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo