19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයේ සිට වසර 5 දක්වා අඩු කළ ද , එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය වූ බැවින් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පවසනවා.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ (19) ගාල්ලේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ජයම්පතී වික්‍රමරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (20) ප්‍රතිචාර දක්වා තිබෙනවා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලද අතර ඊට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහ ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්න මහතා ද සම්බන්ධව සිටියා.
ඊයේ ගාල්ලේ පැවැති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පැවැසුවේ 19 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය වෙනස් නොකිරීම ජයම්පතී වික්‍රමරත්න මහතා අතින් පළපුරුද්ද නොමැතිකමින් සිදුවූ අත්වැරැද්දක් ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා අද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 19 වැනි ව්‍යස්ථා සංශෝධනය සකස් කිරීමේදී කිසිදු ජනමත විචාරණයකට බඳුන් නොවන ලෙස එම ක්‍රියාවලිය සිදුකිරීමට එවක ආණ්ඩුව තීරණය කර තිබූ බවයි.
උපුටා ගැනීම,
මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවක් පෙරකී හය අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමත විචාරණයක් අවශ්‍යය. තවද 83 වැනි වගන්තිය සංශෝධනය කිරීමටද ජනමත විචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.
උපුටා ගැනීම අවසන්.
සංශෝධන ක්‍රියාවලියේදී පිළියෙල කරන ලද සෑම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡා කරන ලද බවත්, අනුකමිටුව විසින් අනුමත කළ අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත්කරුට යොමුකිරීමෙන් අනතුරුව එහි වෙනස්කම් කිහිපයක් සිදුකළ බවත් ජයම්පතී වික්‍රමරත්න මහතා සිය ලිපියෙන් පෙන්වා දෙනවා.
මෙම කාරණා සාකච්ඡා කිරීම සඳහා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිහිපවරක්ම නීතිපතිවරයා කැඳවූ අතර නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් කළ බවද ඔහු සඳහන් කරනවා.
ඒ අනුව 19 වැනි සංශෝධනය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්රතිපාදනයකට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටි බවද අදාළ ලිපියේ සඳහන් වනවා.
උපුටා ගැනීම,
කරුණු මෙසේ තිබියදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුලු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.
උපුටා ගැනීම අවසන්.
No comments
Post a Comment