මම නිවැරදියි - ඩයනා අධිකරණයට කියූ දේ

 

ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 07ක් අධිකරණය හමුවේ කියවා දීමෙන් අනතුරුව ඇය මේ බව ප්‍රකාශ කළා.

උතුරු මුහුදේ සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙක් මරුට

 ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ, නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් තිබෙනවා.

අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව නාවික හමුදාව සඳහන් කළා.

සටන තව තීව්‍රර වෙයි - විජයදාස වෙනුවෙන් ඇප බඳියි

 

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම සිදුව තිබෙනවා.

පොළොන්නරුවෙන් ඇසුණු වෙඩි හඬ

 

පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා.

එම පුද්ගලයාව රෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව පොළොන්නරුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය සැකකරනු ලබනවා.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

 

ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ වූ අතර එය සං‍ශෝධනය කරමින් එය උදෑසන  10.00ට ආරම්භ කිරිමට තීරණය කර තිබුනා.

කෙසේවෙතත් පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ තත්ත්වයක් හේතුවෙන් එය පෙර පැවති වේලාවටම සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. එන්. ජේ. ඉදිපොලගේ මහතා පැවසුවා.

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවනවා.

බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.


ශ්‍රීලනිපයේ තීරණය රනිල්



 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණා .


එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි." යනුවෙනි. 

"විජයග්‍රහණයේ පෙර දැක්ම" විශේෂ නියෝජිත සමුළුව

 ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන විශේෂ නියෝජිත සමුළුව 2024.08.01 (හෙට) දින ප.ව. 03.00 ට කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඉදිරියේදී ඇති වියහැකි තත්ත්වයට මුහුණ දීමට ජනපතිගෙන් කමිටු 3ක්

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.


ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ගනු ලැබුවා.


ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබෙනවා.


එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් කටයුතු කරනවා.


මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතයි.


අදාළ සිදුවීමත් සමග ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරෙනවා.


ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා තිබෙනවා.


එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට  නියමිතයි.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම ගැන දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසයි.


විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බවද නිවේදනය කරනවා.


ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 2024.08.05 වනදා අවසන් වනවා.

ගෑස් මිල ගැන දැනුම්දීමක්

අගෝස්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසනවා.


ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව දැනුම් දුන්නා.


හමාස් ප්‍රධානියාගේ ඝාතනය ජනපති හෙළාදකි

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉෂ්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බව හා එය තරයේ හෙළාදකින බව මීට සුළු මොහොතකට පෙර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

මේ බව සඳහන් කළේ ජනාධිපති අංශය විසින්.

ප්‍රසන්න මහින්දට ලියයි

 

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි.

එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙන බව ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් දැනුම්දී තිබෙනවා.

එසේ වුවත් තමා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකු බවත් තමාගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහතා වන බවත් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රසන්න රණතුංග මහතා අදාළ ලිපිය මඟින් සඳහන් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙනවා.

පළාත් සභා මන්ත්‍රීවරු 116කගේ සහයත් ජනපති රනිල්ට

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වීමට කැපවන බවට ප්‍රතිඥා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.


13 හැවිරිදි දැරිය ගැබිනියක් කළ ඥාති සහෝදරයා

මිත්තණිය ළඟ හැදීවැඩුණු 13 හැවිරිදි දැරියක් සිය මාමාගේ පුත්‍රයා විසින් ගැබිනියක් බවට පත් කළ පුවතක් අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දෙමාපියන් නොමැතිව සිය මිත්තණිය සමීපයේ හැදී වැඩුණු එම දැරිය සිය මාමාගේ පුත්‍රයා අතින් අපයෝජනයට ලක්වී ඇති අතර මේවන විට ඇය මාස එකහමාරක ගැබිනියක් බවට පත්ව ඇති බව අඟුරුවාතොට පොලීසිය පවසනවා.

දැරිය ජීවත් වූ නිවෙසේම ඇයගේ මාමාගේ පුත්‍රයා වූ 18 හැවිරිදි තරුණයා විසින් කිහිපවරක් මෙම දැරියව අපයෝජනයට ලක් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවා.

අඟුරුවාතොට පොලීසිය විසින් දැරිවියගේ අනාරක්ෂිතභාවය පිළිබඳ ඇයගේ මිත්තණිය කිහිපවරක් දැනුවත් කර ඇති නමුත් මිත්තණියගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දැරියට මෙම ඉරණමට මුහුණපාන්නට සිදු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 18 හැවිරිදි තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (31) හොරණ මහෙස්ත්‍රාත්‍ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා. 

138 කඩවත - කොටුව බස් වර්ජනයක්

අද (31) උදෑසන 138 කඩවත - කොටුව මාර්ගයේ ගමන්ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.

ඒ අනුව කඩවත - කොටුව, වැලිවේරිය - කොටුව හා කිරිල්ලවල - කොටුව යන සියලු බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබුණා.

ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මඟ හැරීම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කිහිපයක් කඩිනමින් ධාවනයට එක් කළ බවත් සඳහන් වනවා.

කිරිබත්ගොඩ - පිටකොටුව මාර්ගයේ අලුත් බස්රථ කිහිපයක් සඳහා අවසර ලබාදීමෙන් තමන්ගේ ආදායමට දැඩි පහරක් එල්ල වී ඇතැයි 138 බස් රථහිමියන් පවසනවා.

මේ අතර කඩවත - කොටුව බස් නැවතුම් පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇතැයි පවසන බස් රියදුරන් වැසිකිළි බළ උතුරා යෑම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ප්‍රදේශයේ පවතින බව ද සඳහන් කළා.

අදාළ හේතූන්ට විසඳුම් ඉල්ලා වර්ජනය ආරම්භ කළ බවත් විසඳුම් නොලැබුණහොත් බස් ධාවනයෙන් තමන් ඉවත්ව සිටින බවත් බස් රියදුරන් පවසනවා.

කෙසේවෙතත් අදාළ බස් වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.






හමාස් ප්‍රධානියා ඝාතනය කෙරේ

 පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසනවා.


ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ව හමුවී තිබුණා.

හමාස් සංවිධානය පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මියගොස් ඇති බවයි.

සජිත් ප්‍රේමදාසට ඇප බඳී



ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුව තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.


වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවනවා. 


බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇති වනවා.


දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.



ඝාතකයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුට, මරණ දඬුවම් නියම කර තිබෙනවා.


ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනි.


මෙලෙස මරණ දඬුවම නියම වූයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් සිව්දෙනෙකුටයි.


2013 වසරේ ඔරුගොඩවත්ත සාන්තවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා එල්ල වී තිබුණා.


කෙසේ වෙතත් නඩුවේ 2 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී මිය ගිය ගොස් තිබෙනවා.


6 වැනි විත්තිකරුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවෙන් නිදහස් කෙරුණා.


නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 2017දී නඩු පවරා චෝදනා ගොනුකර තිබුණා.


නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළා.


පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය

 පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.


රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වූ අතර එහිදී එම තීරණය ගෙන තිබෙනවා.


ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව සඳහන්.


ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙය වනවා 




ඉදිකිරීමක් අතරතුර ළදරු වාට්ටුවේ වහලය කඩා වැටෙයි

 මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරන අතරතුර සිදුවු අනතුරක් හේතුවෙන් ළදරුවන් හා මව්වරු කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.


අප වාර්තාකරු පැවසුවේ, නව මහල් ගොඩනැගිල්ලට යන්ත්‍රයක් මඟින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබඳව පිහිටි ළදරු වාට්ටුවේ වහලය මතට මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී ගොස් ඇති බවයි.


එම අවස්ථාවේ වාට්ටුවේ සිටි ළදරුවන් සහ මව්වරුන් කිහිපදෙනෙකු මතට එම කොන්ක්‍රීට් කඩා වැටී අනතුර සිදුව තිබෙනවා.


අද (30) අද පෙරවරු කාලයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් මව්වරුන් තිදෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කර තිබෙනවා.


අනතුර හේතුවෙන් වාට්ටුවේ සිටි සියලූම ළදරුවන් සහ මව්වරුන් දැනට ඉවත් කර ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.


ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ කිසිදු ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව බව පෙනී යන බව එහි ගිය අප වාර්තාකරු පැවසුවා


මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරියයෙන් අප කළ විමසීමකදී ඇය සඳහන් කළේ, කිසිදු අයෙකුට අනතුරක් සිදුවී නොමැති බවයි. 


එහෙත් අනතුරින් බෙල්ලට යම් අනතුරක් සිදුවු කාන්තාවක් අපට හමුවු අතර ඇය පවසා සිටියේ, "එකපාරටම සද්දයක් ආවා. මිස්ලා කෑගහගෙන ආවා. එකපාරම මම හැරිලා බලද්දි සිමෙන්ති ආවා. මම නැඟිටලා බබාව කවර් කරගත්තා. ඊට පස්සේ මිස් කෙනෙක් මාවයි ළමයයි අරගෙන එළියට ගියා. බෙල්ල චුට්ටක් රිදෙනවා." යනුවෙනි.


විමල්ගෙන් අනතුරු ඇඟවීමක්

 

පාලකයා විසින් ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ත්‍රෛනිකායික මහනාහිමිවරු වෙත ලිපියක් යවා තිබෙනවා.

අද (30) එම ලිපිය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා.

එම සම්පූර්ණ ලිපිය පහතින්.


















මැතිවරණ කොමිසම රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පවත්වා ඇති බව වාර්තා වනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා තිබුණා.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව සඳහන්.

එහි ප්‍රධාන කරුණ ලෙස පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තාවුණා.

මීට අමතරව මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව එම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙය වනවා.



මෛත්‍රීට එරෙහි වාරණය යළි දිග් කරයි

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(30) නියෝගකළා.

ඇමති මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක  මහත්වරුන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම හා එම තනතුරුවල වෙනත් පුද්ගලයින් කටයුතු කිරීම වළකාලමින්  මෙම වාරණ නිකුත් කර තිබුනා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ  උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් පැවරුන් නඩු තුනක් සලකා බැලීමෙන් පසුව පසුගිය   අප්‍රේල් මාසයේදී මෙම වාරණ නිකුත් කර තිබුනා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක යන මහත්වරුන්ට මෙම වාරණ නිකුත් කර තිබුනා.

විත්තියේ විරෝධතා ඔක්තෝබර් 09 දින ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා දන්වා සිටියා.


කෙහෙළිය ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අගෝස්තු 09 වැනිදා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

තමන්ට ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා කෙහෙලිය රඹුක් වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බවත් අධිකරණය නිවේදනය කලා

මෙම නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.

පොහොට්ටුවේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේ සහාය රනිල් ට

 


එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඒ බව පැවසුවා.


බිත්තර ආනයනයට අවසර

 දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.


එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.


2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබෙනවා.


ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37/-ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් වුණා.


වතු පාසල්වල යටිතල පහසුකම් උදෙසා ඉන්දියානු ආධාරය දෙගුණයකින් ඉහළට


ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් මෙරටේ වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදි
යුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2019 වසරේ 06වැනි මස 04වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය මත මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එකී ව්‍යාපෘතිය සඳහා වන මුළු ප්‍රදානය රුපියල් මිලියන 600 දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව, එම ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ ලේඛනවලට අත්සන් තැබීමට අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

 


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කේ.ටී. චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශ මත පදනම්ව අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු-කමිටු වාර්තාවේ නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබ තිබෙනවා.

යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.


වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

 

ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඒකබද්ධ සේවා චක්‍රලේඛ මගින් ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (29) දිනයේ දී අදාළ ස්ථාන මාරුවීම් චක්‍රලේඛය ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රදේශීය ලේකම්වරුන්ට නිකුත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සඳහා නිලධාරීන් 8,000ක් යෙදවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා මෙන්ම කඩිනම් විශේෂිත ලිපි බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වුව ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළා.

පොහොට්ටුවේ තවත් අය ජනපති වෙනුවෙන් ඉදිරියට

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේ දීත් සහායෝගය ලබාදෙන බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න

 

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අරාබි මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට මෙම රතු නිවේදය පිළිබඳව සැලකිලිමත්වන ලෙසයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කරනවා.


ජනාධිපතිවරයාගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

 

තමන් සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

උපුටා ගැනීම

"මෙම ගමනේ දී මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුලසිටම මා සමග සිටි අයට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටිය දී පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය දෑ නැතිව අරගල කරද්දි ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරිගැන්වුවා.

ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමගේ අතරමගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තූති කරන්න කැමතියි.මේ සමග අප සමග එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මගේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා.පක්ෂ දේශපාලනය පසෙකලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපිට තව බොහෝ දෑ කළ හැකියි. තවමත් අප සමග එක්නොවූ මන්ත්‍රීවරුන්ට මම කියන්න ඕනෙ අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්.

සමෘද්ධිමත් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදුවෙමින් පවතිනවා. එය යථාර්තයක් බවට පත්කිරීමට කැමති සෑම කෙනෙක්ම අපිට අවශ්‍යයි.අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්ය ගැන අවසාන වශයෙන් ඔබට ස්තූතිවන්ත වෙන්න කැමතියි.

උපුටා ගැනීම අවසන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) රාත්‍රී එම විශේෂ ෆේස්බුක් සටහන තබා තිබෙනවා.


ජනපතිවරණයට පොහොට්ටූවේම අපේක්ෂකයෙක්



ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. 


ඒ අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවය.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.


තම පක්ෂය තුළින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේ. 


"පොහොට්ටුව ලකුණින් පක්ෂයේ සාමාජිකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය ගැන අදහස් දැක්වීමක් වුණා. කිහිපදෙනෙක් විරුද්ධ වුණා. අති බහුතරයක් පක්ෂ වුණා. එහිදී අති බහුතරයෙන් සම්මත වුණා ඉදිරි ජනාධිපති මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව. මේ තීරණයට එරෙහි වුණොත් ඒ අයටත් පක්ෂයේ කිසියම් කෙනෙක් පක්ෂ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් යෝජනා සම්මත වුණා."





ඇමති තොණ්ඩමන් ඇතුළු තිදෙනෙක් අධිකරණයට


ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඉකුත් මැයි මස 30 දින නුවරඑළිය පිඩෘ වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාව වෙත ගොස් එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය පැය කිහිපයක් ඔවුන් භාරයේ රඳවා ගත්තේ යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉකුත් මස 22 වන දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත්, විමර්ශන කටයුතු අවසන් කර නොමැති නිසා සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවයි.

එම වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින් සැකකරුවන්ගේ නම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, එම පක්ෂයේ ජාතික සංවිධායක එස්. සත්‍යවේල්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික ලෝගදාස් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන මහතුන් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ, පොලීසිය මඟින් සැකකරුවන් කිසිවෙකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස 26 දින කැඳවන බවයි.

ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල් මහතාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ, පොලීසිය මඟින් තම පක්ෂයේ මහ ලේකම්වරයාගේ හෝ තමන්ගේ නම් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබු බවත්, වතු සමාගම් වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින් අධිකරණය හමුවේ තමන් සැකකරුවන් ලෙස නම් කර සිටි නිසා අධිකරණයට ගරු කිරීමක් වශයෙන් තම පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු තමන් තිදෙනා අද අධිකරණයට මෝසමක් මඟින් ඉදිරිපත් වු බවයි.

උතුරු කොරියාවට මහා ගංවතුරක්

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු නායක කිං ජොන් උන් විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජල ගැලීම්වලට හසුවූ මාර්ගයක උතුරු කොරියානු නායකයාගේ රථ පෙළක් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය පළකර තිබුණා.

සිනුජු, උයිජු යන ප්‍රදේශවලට ජල ගැලීම්වලින් වැඩිම බලපෑම් සිදුව ඇති අතර පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 4,000කට වැඩි පිරිසක් ගුවන් යානා මගින් මුදාගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.


ගංගා සෙනවිරත්න පළමු තැනට

 

2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සමත්ව තිබෙනවා.

ගංගා සෙනවිරත්න එලෙස පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

ඇයට තරගය නිම කිරීම සඳහා 1:04.26ක කාලයත් ගතවුණා.

විජයදාසට සහ සාරථීට පැනවූ වාරණය යළිත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස  තේරී පත් වූ  අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්  නිකුත් කළ වාරණ නියෝග සැප්තැම්බර් මස 24 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද(29) නියෝග කළා.

වැඩ බලන ප්‍රධාන ලේකම්ගේ හා වැඩ බලන සභාපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගයද යළි දීර්ඝ කෙරුණා.

විත්තියේ විරෝධතා එදිනට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක,දුමින්ද දිසානායක හා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව  මෙම වාරණ නියෝග නිකුත් කර තිබුණා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල,වැඩ බලන සභාපති,වරායා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා,අධිකරණ ඇමති ජනාධිපතිනීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ,පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා නම් කර තිබෙනවා.

ජන අරගල සන්ධාන‍යෙන් ජනපති සටනට නීතිඥ නුවන් බෝපගේ

අරගලයට සම්බන්ධ පාර්ශ්ව නියෝජනය කරන ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතීඥ නුවන් බෝපගේ නම් කිරීමට එම සන්ධානය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (29) කොළඹදී පැවැති එම සන්ධානයේ විශේෂ සාකච්ඡාවකදීයි.

කොළඹ - නුවර පාර අවහිර වෙයි

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයේ දී මගී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය යක්කල හන්දිය ආසන්නයෙන් අවහිර වී ඇති බව යි වාර්තා වන්නේ

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

 


2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වනවා.

එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.

තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙඩ් අඩවියෙන් ද ලබාගත හැකිය.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතුවනවා.

අයදුරම් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙනවා.

* සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)

* සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල 

* සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල


විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නා.

තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බවත් එහිදී ඒ මහතා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,

"කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ."


අමෙරිකාවේ උද්‍යානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරකින් එක අයෙක් ජීවිතක්ෂයට

 

අමෙරිකාවේ නිව්යෝර්ක්හි රොචෙස්ටර් නගරයේ සිදුකළ වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නිවියෝර්ක් හි රොචෙස්ටර් නගරයේ පිහිටි ‍මේපල්වූඩ් උද්‍යානයේ දී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

වෙඩිවැදිමෙන් මියගිය පුද්ගලයා 20හැවිරිදි අයෙකු වන අතර තුවාල ලැබු එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

© all rights reserved
made with by templateszoo